දෙමළ ලේඛිකා සුජාතා සිංහල අනුවාදය - බොබී ජී. බොතේජු අඩියක් පමණ උස අකුරින් ලියැවුණු දැන්වීම් සහ නිවේදන, තාප්ප බිත්තිවල සාමකාමී සහජීවනයෙන් වැජඹෙයි. විප්ලවයේ ගිනිදලුවලින් ප්‍රවේසම් වෙන්න! 'හජ්ජි මුසාජිගේ රෙදිපිළි මාළිගාව - රෙදිපිළි සාගරයක්' නිසාම් දුම්කොළ සියලුම ද්‍රෝහීන්ට දඬුවම්! මදුරෙයි නගරයේ සාමාන්‍ය දවසක්. නගර සභාවේ පයිප්පය ඉදිරියේ කළගෙඩි සහ භාජන, මිනිසුන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පේළි ගැසී සිටිති. පිට ගැස්ම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා ම කුඩා පිරිමි ළමෝ කසළ ගොඩවල් මත ක්‍රීඩා කරති. පාඩියන් ප්‍රවාහන සංස්ථාවේ බස් රථ පසුපසින් දේශප්‍රේමි පණිවිඩ, ඩීසල් දුම සමඟ මිශ්‍ර කරමින් නිකුත් වෙයි. ඇඟට හිරවුණ කලිසම් ඇඳ සිටින පොලිස් භටයෝ එහා මෙහා දිවෙන වාහන සහ කඩිමුඩියේ ඔබ මොබ යන මගීන් හසුරුවති. පාරේ වම් පැත්තට වන්නට භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහි ව රජයට බැණ වදිමින් සටන් පාඨ කියමින් යන කුඩා කණ්ඩායමකි. අපේ කතාව අද නගරයට පැමිණි කාන්තාවක ගැනයි. මදුරෙයි නගරයේ විශාලත ම රෝහලේ බාහිර රෝගී අංශය වෙත වල්ලි අම්මා තම දියණිය වන පාපාති ද කැටුව පැමිණ බලා සිටින්නී ය. ඊයේ පාපාතිට උණ රෝගය වැලඳිණි. ඇය ගමේ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා ය. වහාම ඇය නගරයේ මහ රෝහල වෙත ගෙන යන ලෙස වෛද්‍යවරයා උපදෙස් දුන්නේ ඔවුන් බිය ගන්වමිනි. ඔවුහු උදෑසනින් ම බසයට නැඟුණ හ.